..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, September 19, 2017

ආදර ප්‍රදී 4 - හැර යාම

ආදර ප්‍රදී   
4 - හැර යාම
--------------------------------



“ඉතින් කියන්න කෝ ......... බිම් ගෙයි දි ඔයා අනූෂව ඉම්ඹ ද ?“ 

“ නෑ ........ “

“ බොරු කියන්නෙපා අනේ. බිම් ගෙයි ළං වෙද්දි තමා ඔයා එයාගේ අතින් අල්ලගත්තේ , ඉතින් බිම් ගෙයි ඇතුලෙදි ඔයා එයාව ඉඹින්නෙ නැතිව නම් ඉන්න විදිහක් නෑ “

“ නෑ ....... මට ඕනි වුනේ නෑ එහෙම කරන්න. මට ඕනි වුනේ එයා ළඟින් ඉන්න. එයා දිහා බලා ඉන්න විතරයි “

“උඹෙ බොරු , දැන් බලන්න මම උගන්වන ඉස්කෝල කෙල්ලො කොල්ලො යාළු වෙලා දවස් දෙකෙන් ෆිල්ම් හොල් යනවා. දෙවෙනි සතියෙ ඉදන් රූම් යනවා , ඔයා මට කියන්නේ අච්චර පෙරුම් පුරල යාලු වෙච්චි , අච්චර ලස්සන ගෑණු ළමයගෙ කම්මුලක් ඔයා ඉම්ඹෙම නෑ කියල ද?“

“ ඔයා විශ්වාස කරා හෝ නොකර . ඇත්තටම මට එහෙම දෙයක් කරන්න ඕනි වුනේ නෑ. “

මෙච්චර වෙලා එයාගේ කකුළ දෙක ගාවට වෙලා නට්ට කොඩිය දාලා වගේ උස්සන් කකුලෙ ගෑවි ගෑවි එහා මෙහා  ගියපු තඩි පර්සියන් පූසා එයාගේ ඔඩොක්කුවට නැගල ඉස්සරහ ගාත් දෙකෙන් ඉස්සිලා මීෂාගේ මූණේ උගෙ මූණ අතුල්ලන්න ගත්තා.

මෙච්චර වෙලා හැංඟිලා තිබිච්චි අර ලස්සන නල දත පේන්න මූණ පුරාම ඒ හිනාව පුබුදන්න පර්සියන් පූසට පුලුවන් වෙච්චි එකට නම් මගෙ හිතට ආවේ ඉරිසියාවක්.

 “ හරි හරි ඉතින් මොකද ඊට පස්සෙ වුනේ .......... “ තඩි පර්සියන් පූසාට පේන්නට ඔහුගේ ඇඟේ ගෑවෙන තරමට ළං වෙමින් අසද්දී , ඔහුගේ සුපුරුදු උණුසුමින් හදවත පිරෙන්නට විය.

-----------------------------------

“ පිස්සු නැතිව බැහැපන් බන් , පනහට සීයක් දෙන්නම් බැහැපන් යකෝ “

නැමිනමේ ආරුක්කු පාලම් ඇන්දේ ප්‍රපාතය දෙසට වන්නට සමබරතාව රකින්නට උත්සාහ ගන්මින් ගමන් ගන්නා හීන්දෑරි කොල්ලෙකි. තව ඩිංගිත්තක් හුළඟං සැරය වැඩි වෙතොත් ඔහුගේ සමබරතාව කෙසේ වෙතත් ඒ හුළංසැර දරා ගත නොහී ඔහු නවතින්නේ ප්‍රපාතයේ පාමුලට පාවී ගොසිනැයි සිතුනු මගේ හුස්ම හෙලීමද නැවතුනේ ඒ හුස්ම පොදත් එකතුවී සුළං සැරය වැඩි කරතැයි බියෙනි.

“ යකෝ බැහැපන් බන් “

ඔහුට ඒ කිසිත් නෑසේ , සිරුරට ලම්භකව දෙපසට දිකු කර ගත් දෑත් විටෙක වමට ද විටෙක දකුණට ද ඇල කරමින් , විටක දකුණු පයද ඉන් පසු ඒ සීරුවටම තබන වම් පය දෙසද බලමින් ඔහු ගමනේය . 

ආයාචනා කිසිවකින් පලක් නැතැයි හැඟුනු පසු අනිකුත් කොල්ලන් පාලමේ කෝච්චි පාර වැටී ඇති දෙසින් , නමුත් බැම්මට ඉතා ආසන්නයෙන් ඔහු හා සමාන්තරව ගමනේ යන්නේ මා මෙන්ම සුළං සැර වැඩිවෙතැයි බියෙන් නතර කර  අල්ලා ගත් හුස්ම සමඟිනි .

මේ ත්‍රාසජනක ගමනේ යෙදෙන්නා වෙනත් කිසිවෙකු නොව එදා බිම්ගෙයි පාමුල දී අනූෂා ගෙ අත ආදරයෙන් අල්ලා ගත් මිෂා ය. අනූෂා පෙනේනට නැත. මීෂා තම ජීවිතය රුපියල් පනහකට ඔට්ටු අල්ලා පාලම් ඇන්දේ පරඩැලක් මෙන් වැනෙමින් සිටියි. 

“ දීපන් පනහ “

 ඇන්දේ කොණටම ගොස් වේගයෙන් තම යහළුවන් අතර පැන තම ත්‍රාසජනක ගමන නිම කල මීෂා , ඔට්ටු මුදල ඉල්ලන්නට විය. 


“ ඉදා ගනින් , කෙල්ලෙක් හින්දා ඔච්චරටම පහත් වෙන්න එපා බන් “ කලිසම් සාක්කුවෙන් ඇද ගත් රුපියල් පනහ දිගුකරමින් මූණ පුලුටු කර ගත් මිතුරකු පවසන්නට විය.

ගත වූ කාලය තුල මීෂා-අනූෂා  පාසල් පෙම් යුවල කාගෙත් හොඳ හිත දිනාගත් පෙම්යුවලක් වූ අයුරුත් රේල් පිලි දිගේ සමාන්තරවත් , බිම් ගෙවල් තුලින් එක්ව දෑත් පටලවනුත් , මහා රූස්ස පයින් ගස් වනාන්තර තුල හීන් හඬ නංවමිනුත් සැරිසැරූයුරු මගේ මතකයේ තැන්පත් වී ඇත. 

උසස් පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වූ මේ කාලය මට මඟ ඇරුනු කාලය අතරට එක් වී තිබූ අතර ඒ කාලය තුල දී කුමක් හෝ අරුමයක් සිදු වී ඇත.

රේල් පාර දිගේ ත් , බිම් ගෙවල් ඇතුලේත් , රූස්ස පයිනස් වගා බිමේ හැම තැනම සැරිසැරුවත් ඔවුන් ගැන හාන්කවිස්සියක දෙයක් සොයා ගත නොහැකි වූ තැන මගේ විමසුම් දෑස් යොමු වූයේ මිෂාටයි ,

“ ඔය ලොකු ඇස් තවත් ලොකු කරල මගෙ දිහා බලන්නෙපා බන් , උඹ මාව විනිවිද යවන්න හදනව ඔය බැල්මෙන් “


“ බොරු වර්ණනා ඇති , කියන්න මට මොකද වුනේ කියලා , මට හොයා ගන්න බෑ ඒ අතුරුදහන් වෙච්චි කාලයෙ වුනු දේවල් “

“ එහෙනම් අහ ගන්න , දවසක් මට නිලන්ති පණිවිඩයක් එවල තිබ්බ ඉක්මනට ඇවිත් හමුවෙන්න අනූෂට හමුවෙන්න ඕනි කීවා කියල. එදා ගෙදර ආපු ගමන් මම කෑම කන්නෙත් නැතිවම එයා කියපු වෙලාවට කියපු තැනට ගියේ ඇවිදගෙන නෙමේ දුවල “
“ එතකොට ඔයාල ඉස්කෝලෙදි හමුවුනේ නැද්ද ?“

“ නෑ .......එතකොට අපි විභාගෙත් ලියල ඉවරයි. අනුෂා නම් ඉස්කෝලෙ යනවා “

“ ඉතින් .........“

“ මම ගියා කියපු වෙලාවටම ඒත් ,............... අනුෂා පේන්න හිටියේ නෑ. හැබැයි නිලන්ති ටික වෙලාවකින් ආවා “

“ ඉතින් ............“  වාඩි වී හුන් තැනින් නැගිට ගත් මා,  වාඩි වි සිටි  ඔහුගේ පය පාමුලින් දණිස් ඔබා වාඩි වී , ඔහුගේ දෙකලවයට දෑත් තබා බිමට යොමා ඇති ඔහුගේ මුහුණට එඹෙමින් ඇසීමි.

මද වේලාවක් මා දෑස දෙස බලා සිටි ඔහු , “ ආපහු කවදාවත් අනූෂාව හමුවෙන්න එපා , අනූෂව අමතක කරල දාන්න කියල අනුෂා කීවා කියල නිලන්ති මට කීවා “

“ නෑහ් ......... ඒ මොකද හේතුව “

“ හේතුව එයාගෙන් අහන්නෙපා කියල කීව නිසා මම කවදාවත් එයාගෙන් හේතු ඇහුවෙ නෑ “

“ අෆෝ ඔයැයි හරිම හොඳ වැඩියි අප්පා.... එතකොට හේතුවක් දන්නෙම නෑ “

“ නෑ ......... දන්නව “

“ දන්නව .......... කොහොමද දන්නේ ..........එයා කීවද ?“

“ නෑ ...හ් ........ කාලෙකට පස්සෙ මට ඒක දැන ගන්න ලැබුනා ...............“

“ ඉතින් අනේ  මොකක් ද හේතුව “ රිදෙන දණහිස නමා බිම වාඩි වී ඔහුගේ උකුලේ හිස තබා ගත ඉරියවුවෙන් , ඒ පැණයට දැන්මම පිළිතුරු අවශ්‍ය නැතැයි සිතූ ඔහු , ඔහුගේ මැජික් ඇතැගිලි මගේ හිස පුරා යවන්නට විය............

“ අනුෂත් හරියට අර පර්සියන් පූසා වගේ , එයාට ඕනි වෙලාවට විතරයි එන්නේ “

“ ඔයා ඉතින් ඌත් එක්ක ඉරිසියයි නේ “ 

ඇත්තටම ඇයි කෙල්ලෙක් කොල්ලෙක්ගෙ කිසිම වරදක් නැතිව දාලා යන්නේ  ? ඒක ඔයා යි මමයි හිතන තරම් ලේසි පාසු දෙයක් නෙමෙයි........

ඒක දැන ගන්න නම් ඊළඟ කොටස කියවන්නම වෙනවා........

Saturday, September 16, 2017

ආදර ප්‍රදී - 3 ආදර බිම්ගෙය

ආදර ප්‍රදී 
 3 ආදර බිම් ගෙය
-----------------------

කලින් කොටසට මෙතනින් යන්න.

අද තුන්වෙනි කොටස 





ඔයාලට මතක ඇති කෙල්ලෙක් පන්තියට ඇවිත් පොතක් අස්සෙ දාපු ලියුමක් දීලා ගියා .ඒ ලියුම දෙන්න කියල කියල තිවුනේ මම මේ ලියන කතාව අයිතිකාරයට. එයා තමා මීෂා. කොහොම උනත් පන්තියෙ කාටවත් ඒ ලියුම කියව්වන්න නම් බැරි වුනා කියල මීෂා මගෙ දිහා බලල කියද්දි ඒ මූණෙ තිවුනු හිනාව මට හොඳ හැටි මතකයි.

“ ඉතින් , කියවන්න බැරි විදිහට ලියල තිබ්බ ලියුම ගැන ඇයි ඔච්චර සතුටක් ?“

“ ඒ ලියුම කියවන්න බැරි වුනේ නෑ .“

මීෂා කීවේ මගෙ දිහාට හැරිල තිබ්බ ඇස් වලින් මටත් ගොඩාක් ඈතක තිබ්බ යමක් දිහා බලන ගමන්.........................

එදා දවල් වෙද්දි නිලන්ති අතේ ලියුම කියවන්න ඕනි වෙන  කෝඩ්ස් ටික අනූෂා එවල තිබ්බා “

“ නෑහ් ................“ 

“ මට ඒ කෝඩ් අද වගේ මතකයි “

“ ඉතින්  ඔයා ළඟ ඒ ලියුම් තවම තියනව ද ?“ ගැහැණු සිතේ හට ගන්නා කුතුහලය මැඩ ගනු නොහැකිව මම එහෙම ඇහුවෙ එයා ළඟ තාමත් ඒ ලියුම් ලියුම් තියනව නම් මට එයා එ්වා නොදී නොයින්න බව දන්න නිසාමයි. අනික මේ කතාව ලියන්න උනත් ඒ ලියුම් කියවන එක වැදගත් වෙනව 

“ නෑ...... ඒ ලියුම් ඔක්කම ප්‍රදී ඉල්ල ගත්තා....ඊට පස්සෙ ඒවට මොනා උනාද දන්නෑ “

ඊට පස්සෙ අපි දෙන්න අතර කතා බහ නතර වුනේ දෙන්න එක්කම එළඹුනු නිහඬ ගිවිසුමකට වගේ.



..................................................................



පමා වෙලා පොළවට වැටෙන ඉර එළිය , විද්‍යාව පොතේ කියල තිබ්බ විදිහටම  එළි කදම්භ වගේ වැටිල තිබ්බෙ මීදුම අතරින්. ඒ අතරින් මට ඇහෙනවා බොහොම යෞවන හිනා හඬවල් , වෙලාවකට රණ්ඩු වෙන වෙලාකට වාද වෙන ඒ හිනා - කතා දහයක දොළහක විතර පුංචි කාණ්ඩෙක කියල මට තේරුනේ මීදුම අතරේ ඉර එළිය අස්සෙන් එඹිල බලද්දි. යෞවනය කියන්නේ මෙන්න මේකයි කියල දකින කෙනෙක්කට ඉරිසියා උපදවන විදහට , පොත් කීපයක් පිපෙන පපුවට තුරුළු කර ගත්ත ගැහැණු ළමයි , උන් එක්ක එකට එක පේළියේ හිනා වෙවි විහිළු කරමින් යන පිරිමි ළමයි දියවෙන්න පටන් අරන් තිබ්බ මීදුම අතරින් කොච්චි පාරක් දිගේ හිනා හල හල යනවා.

එතන හිටපු කිහිප දෙනෙක්වම මම වගේම ඔබත් මේ වෙද්දි අඳුරන අය.   සමහර අය ඒ අපි අඳුරන අය  අඳුරන අයවලුන් විත්තිය තේරුනා. තවත් හොඳින් බලද්දි ඒ එදා මීෂාගේපන්තියෙ හිටපු කොල්ලො - කෙල්ලො ටික දෙනෙක් නේද කියලා අඳුර ගන්න පුළුවන් උනා. 


ඒත් කෝ මීෂා ........... 


“ ඒ මචං මීෂා පස්ස ගහන්නව , කතා කරපන් ඌට“ රංචුවෙ හිටපු කොල්ලෙක් එහෙම කියල පස්ස බැලුවෙ කාට හරි අඬගහන්න වගේ.

“උඹට පිස්ස ද , උන් දෙන්නට එන්න ඇරල මෙහෙ වරෙන් බන් යන්න “

නවතින්න හදපු කොල්ලගේ අතින් ඇදපු ටිකක් විතර කොලු පෙනුමක් තියන කෙල්ලෙක් එහෙම කීවේ රංචුවෙ කාගෙත් තීරණය එළියට දාන ගමන්.


“ ඒ මොකද බන් ඌ අපේ එකා , දාලා යන්න බෑනේ “


“ අපෝ උඹෙ මොළේ කොහද බන් තියෙන්නේ, මුගෙ සාමාන්‍ය දැනීම බිංදුවයි , වරෙන් බන් යන්න. යමින් ගමට උඹට තේරුම් කරල දෙන්නම් “


කිසිම දෙයක් තේරුම් ගන්න බැරිව අන්දමන්ද වෙලා වගේ හිටපු කොල්ලව ඇදෙගෙන යන අනිත් වුන්ගේ හිනා හඬ ඈතට ඈතට යද්දි මම එයාල පහු කරල ආපු පාර දිහා බැලුවා.


කොල්ලො කෙල්ලො රංචුව මීෂාව තනි කරල විත්තිය පෙනුනෙ රංචුවට පිටිපස්සෙන් ගාට ගාට එන මීෂාව දැක්හමයි. ඒත් මීෂා තනි නැති විත්තිය පෙනුනෙ ඒ එක්කම ඈතින් , හැබැයි සමාන්තරව අඩිය තියන ගෑණු ළමය දැක්කාමයි.


කෙල්ල හිටියෙ බිම බලා ගෙන, දිගට ගොතපු කොණ්ඩ කරල කොට ගවුමෙ යටම වාටියටත් වඩා ටිකක් දිගට තිබ්බා. පිරෙමින් තිබ්බ පපුවට තුරුළු කරන් හිටපු පොත් ටික ඇගේ දකුණු අතේ තිබ්බ දිග නියපොත්තක සුව විදිමින් තිබුනා. සුදුත් නැති , ගොඩක්ම කළුත් නැති ගෑණු ළමයගෙ මූණ දැක්කෙ මීෂා කියපු දේකට උත්තර දෙන්න ද කොහෙද ඔළුව ඉස්සුවාමයි. රවුම් මූණ , පිරිච්චි කම්මුල් , අමුතු අනුරාගික බවක් ගිලිල තිබ්බ ඇස් , හිනා වෙන කොට ටිකක් ඇරෙන තොල් මට දැනුනෙ හුරු පුරුදු ගතියක්. මේ අර එදා මීෂාගෙ පන්තියට දුවල ඇවිත් පොත දීලා ගියපු ගෑණු ළමයා....... මීෂා කාලයක් බස් එකේ එද්දි - යද්දි ඇස් දෙකෙන් බැද ගත්ත ගෑණු ළමයා. මීෂාගෙ මතකයේ අද වෙනකමුත් රැදිල ඉන්න යුවතිය , ගමට අලුතින් ආපු පෝස්ට් මාස්ටර්ගේ පොඩි දෝණියන්දැ ......... මීෂාගේ හිතේ ඉස්ඉස්සෙල්ලා ආදරයක් ඇති කරපු ඒ කෙල්ල දිහා මම ටිකක් වෙලා බලන් හිටියා.


“ හරි ලස්සනයි “


ඒ දෙන්නා රංචුවට පිටිපස්සෙන් , රංචුවට වඩා හිමින් ඇවිදින එක පටන් අරන් තිබ්බා. රංචුවෙන් මඟෑරෙන්න ඒ දෙන්නට ඕනි නැති වුනත් , රංචුවට ඕනි කරල තිබ්බ ඒ දෙන්නව මඟෑරල යන්න. ඒ ලැබුනු උත්තේජනයත් එක්ක ඒ දෙන්නගෙ ගමන බාල වුනා...


රංචුව ඈතට ඈතට නොපෙනී යද්දි , කෝච්චි පාරේ තිබ්බ බිම්ගෙය මේ දෙන්නගෙ ළඟටම එද්දි , මෙච්චර වෙලා ඇයට ටිකක් ඈතින් ගියපු මීෂා කොච්චි පාරේ තිබ්බ සමාන්තර බව බිදල දාලා ඇගේ ළඟට ටිකක් ළං වෙනව මට පෙනුනා.


බිම් ගෙයි සීමාවටම එද්දි වගේ ඇගේ අතින් අල්ල ගන්න තරම් මීෂා එඩිතර වුනා.......... බිම් ගෙයි කළුවර අස්සේ ඒ ජෝඩුව නොපෙනී යද්දි , මට මීෂාගෙන් අහන්න හිටිය , හැබැයි අහන්න අමතක වෙච්චි එක ප්‍රශ්නයක් ආපහු මතක් වුනා.


“ ඔයා ............. එයාගේ අර ලස්සන කම්මුල් ඉම්ඹ ද ?“


ඒක හරියටම දැන ගන්න නම් , ඊළඟ කොටස වෙනකම් ඉවසන්න වෙනවා.

Tuesday, September 5, 2017

ආදර ප්‍රදී 2 - කේතක පෙම් හසුන

ආදර ප්‍රදී 
2 - කේතක පෙම් හසුන
----------------------------------
Dear  Pradee
2- Coded Love Letter 

පළමු කොටසට මෙතනින් යන්න




මම නැවත නැවතත් ඔහු විසින් මට එවා ඇති ඊමේල් කියවමි.පළමුවර ඒ ඊ්මේල් ලිපි කියවද්දි දැනුන හැඟීමට හාත්පසින්ම වෙනස් හැඟීමක් මා සිත තුල ඇති වෙමින් පවතී. පළමුවර කියවීමේ දී හමු නොවූ වාක්‍ය හමුවීමට පටන් ගනිමින් පවතී. එතකුදු නොව ඒ එක් එක් වාක්‍ය ළඟ සිත නතර වීමටත් වැඩි දුර ඒ ගැන සිතීමටත් සිත වෙනස් වී ඇති අයුරු පුදුමාකාරය. 

ඔහු විසින් එවා ඇති ඇතැම් ඊමේල ලිපි මා මින් පෙර කියවා ඇත්තේ උඩින් පල්ලෙන් බවත් දැන් මා ඒ ලිපි වල වචනයෙන් වචනයට පරිස්සමින් ගොඩ වන්නේ ඔහු මා සිත තුල ඇති කළ ආදරයද දරා ගෙන බවත් මෙය කියවන ඔබට සිතෙන්නට ඉඩ ඇති නමුත් මා ඔබේ සිතුවිලි වෙනස් කිරීමට ඉක්මන් නොවෙමි.

ඔහුගේ ජීවිතයේ නොමැකෙන මිනිස් චරිත ගැන මා වෙත මෙසේ ලියා එවීමෙන් ඔහු අරමුණු කලේ කුමක් වූවත් , මා දැන් ඔහු මගේ ජීවිතයේ  නොමැකෙන චරිතයක් බවට පත්කර ගනිමින් සිටිනවා නොවේ ද.

ඔහුගේ කතාව මා ලවා ලියවා ගැනීම ඔහු අරමුණු කරත්  , නොකරත් කතාව ලිවීම පසෙක ලා නොසිතූ ලෙස ඔහු හා බැඳුනත් ඔහුගේ ඉල්ලීම ඉටු කිරීම මා සතු යුතුකමක් බව “ ඔයා මගේ කතාව ලියන්නේ නැද්ද  , බලන්න ඉස්කෝල නිවාඩුවත් ඉවර වෙන්න ළඟයි “  යන සිහිකැඳවීම්   මඟන්වරින් වර මට මතක්  කර දෙයි.

කෙසේ හෝ ඔහු මෙන්ම ඔහු ජීවත් වී ඇති පරිසරය ගැන ද මට ඇත්තේ දැඩි ලෝබකමකි. මීදුමෙන් වැසී යන සීත පිරුණු පරිසරය මට ඔහු මෙන්ම ආගන්තුකය , සුන්දරය , හිරිගඩු පිපෙන ආශ්වාදයකින් යුතුය. පයිනස් ගස් විසින් වසන් කර ගත් පාරවල් දිගේ , කෝච්චි පාරවල් වහන් කර ගත් උමන් දිගේ ඔහු ඇය සමඟින් ගියපු ගමන් ගැන සිත ආසාවෙන් පිරිලාය. 

මා විටක ඔහු මා වෙත එවා ඇති ඊමේල් වල වාක්‍ය අතරින් හොරෙන් අඩි තබමින් ද තවත් විටක ඒ කතාවේ පාරවල් දිගේ ඩ්‍රෝන කැමරාවකින් ගමන් කරමින් රහස් තැන් සොයමින් ද සිත විඩාවට පත් වී අවසානයේ දී යළිත් ඔහු ව මගේ වචන අතර සිරකරන්නට උත්සාහ ගනිමින් සිටිමි.

ඊමේලයන් මඟින් ලියා තැබූ සටහන් වලට අමතරව ඔහු ඇතැම් විට ඔහුගේ වදනින්ම ඇතැම් සිද්ධීන් මා හා පවසන අවස්ථා වල දී ඒ මුහුණේ ඇදෙන සිනාවන්ට මා ප්‍රිය කරනා බැවින් “ මේ ඊමේල් වැඩක් නෑ , මට ඒ කතා ටික ඔයාගේ වචන වලින් අහ ගන්න ඕනි. අනික සමහර තැන් තියනව මට ඔයාගේන්  හරියට ම අහල දැන ගන්න “  කියා කියන්නට සිතුනු වාර අනන්ත වුවත් ඔහු මුණ ගැසීම එතරම්ම අපහසු නිසා අතීතයට වැටුනු පාරවල් දිගේ ආපසු ඔහු සොයා යන්නට පටන් ගනිමි.

එවිට සීතල පීල්ලකින් වැටෙන දිය පාරක නාන ඔහුව මට හමුවෙයි.පීල්ලේ නාන ඔහු පැන්සලක් මෙන් කෙට්ටුය. කොණ්ඩය නම් අද වාගේම හීනියට කැරලි ගැසී ඇත. අද ඔහු දකින විට මා ආසා කරන ඔහුගේ සාරවත් සුදු රැවුල වෙනුවට ඇත්තේ යොවුන් වියේ අවසනත් තරුණ වියේ ආරම්භයත් සනිටුහන් කිරිමට උපන් දැඩි කළු රැවුල් කොටයි. මේ ඔහුමදැයි සැකයක් උපන්නෙන් ඒ බැව් සැකහැර දැන ගැනීමට පීල්ලේ නාන ඔහුගේ පාමුල වාඩි වී ඔහුගේ මුහුණ දෙස හොඳින් බලන්නට පටන් ගනිමි. පීල්ලේන් වැටෙන දිය රැළ් අතරින් ඔහුගේ මුහුණ මට පෙනේ. දැන් තරම් පෘශ්ඨිමත් නොවූ වද ඒ මුහුණ හඳුනා ගැනීමට මට ඇවැසි එකමෙක සංඥාවක් පමණි.

ඔහු මා දෙස බලා සිනාසුන සිනාව නතර වූයේ දකුණු පස නල දත ගාවිනි. මේ නම් ඔහුම තමා.

නා අවසන් වී තෙත සරම මිරිකා , සබන් පෙට්ටිය සමඟින් තුවායේ ඔතා ගත් ඔහු යන පාර පස්සෙන් වැටුනේ මේ ඔහු ගත කරන්නේ ජීවිතයේ කුමන කාලයක්දැයි හරියටම දැන  ගනු රිසියෙනි. ඔහු යමින් ගමන් ගස් , ගල් සමඟින් කියවයි. ඇතැම් තැන් වල නතර වෙමින් විපරමින් බලයි. ඔහු කුඩා කාලයේ දී දුටු නයි-මුගටි රණ්ඩුව ගැන මට කියූ කතාව සිහිවෙයි. ඔහු මා හමුවුනු මෙකල ද ඔහුගේ කතා තුල වැඩියෙන් හමුවූයේ සතුන් සහ ගහ කොළය.  මේ නම් ඔහුම තමා.

ඔහු මේ ගත කරමින් සිටින්නේ ඔහුගේ ගන්ධබ්බ අවදියයි. සාමාන්‍ය පෙළ අහවර වී අරමුණකින් තොරව ගත වන කාලයයි........... 

ආපසු ඉදිරිය බලන මට උසට වැඩුනු පයිනස් ගස් අතරින් නොපෙනී යන ඔහුගේ රුව පෙනේ.

ඉන් පසු ඔහු මට හමුවන්නේ පාසලක අලුතින්ම පටන් ගත් උසස් පෙළ ජීව විද්‍යා පන්තියේ  නොසතුටින් වාඩි වී සිටිද්දීය.නමුත් මාස තුනකට පසුව නැවත ඔහු මට හමුවන්නේ එම පාසලේම උසස් පෙළ ගණිත පන්තියේ සතුටින් සිටින කොල්ලෙකු ලෙසිනි.

මේ කොල්ලා ට මිතුර මිතුරියන් නොමැතිව ජීවත් විය නොහැකි තරම්ය. එය අද මෙන්ම එදත් එසේම වන්නට ඇත. පාසල් කාලයේ මිතුර මිතුරියන් අදටත් එක ලෙස ආශ්‍රය කරන්නට ඔහුට මෙන් සැමට මෙසේ වාසනාව ලැබෙන්නේ නැත. අහඹුවකින් ඔහුට හමු වූ මා දැනට ඔහුගේ හොඳම මිතුරියයි. එය මා සිතට ගෙනෙන්නේ ආඩම්බරයකි.

මෙසේ සතුටින් ජීවත් වන මේ කොල්ලාට මා නමක් තැබිය යුතුය. නැතිනම් මේ කතාව ඉදිරියට  ගෙන යාම ඔබට මෙන්ම මටද අපහසුව ගෙන දේ. 

ඔහුට මම “මීෂා“ යැයි අමතන්නට කැමැත්තෙමි.

ඉතින් නිස්කංලක අයුරින් ගෙවී  ගිය මීෂා ගේ පාසල් දිවිය උඩුයටිකුරු කරන්නට සමත් වන්නේ ගමේ තැපැල් කාර්යාලයට ස්ථාන මාරු ලැබ පැමිණෙන තැපැල් ස්ථානාධිපතිවරයා ඔහුගේ සිය පවුලම සමඟින් පැමිණීමයි. 

ස්ථානාධිපතිවරයා සමඟින් පැමිණෙන ඔහුගේ දියණිවරුන් තිදෙනාගෙන් දෙදෙනකු සහ ඔහුගේ පුතකු ඇතුලත් වන්නේ මීෂාගේ පාසලටයි. ඉන් වැඩිමහල් දියණිය මීෂා හා සමාන්තර ජීව විද්‍යා පන්තියට ද දෙවෙනි දියණිය මීෂාට පහළ ගණිත පන්තියට ද ඇතුලත් වන අතර ඔවුන්ගේ නිවස පිහිටන්නේ ද මීෂා යනෙන දිශාවටම බැවින් පාසල් පැමිණෙන හිමිදිරි උදයේ ඔහුගේ සිත කුල්මත් කිරීමටත් පාසල් නිම වී නිවස බලා යන අතරතුර  ඔහුගේ සිත වල්මත් කිරීමටත් ඔහු හා එකට එකම බසයේ යන තැපැල් ස්ථානාධිපති දෙවෙනි දියණියගේ බැල්මකට හැකි වීම නිසා ඇගේ පැමිණීමෙන් මාස තුන හතරක් යන තෙක් මීෂා ජීවත් වූයේ පොළවෙ පය ගසා නොවනා බැව් පෙනේ. 

ඔහු දිරිමත් කරමින් උදේ හවා බසයේ දී ලැබෙන ඇගේ සිනහවත් , ඔහුගේ පන්තියේ ඔහුගේ යෙහෙළික වන නිලන්ති , ඇගේ ද යෙහෙළියක බැව් දැන ගැනීමත් සමඟින් සියල්ල වෙනස් වන්නට විය. සිය ප්‍රථම ප්‍රේමයට කපුකම කතා කිරීමට ඔහු තෝරා ගත්තේ තම යෙහෙළිය නිලන්තිය. නමුත් , ප්‍රතිඋත්තරය ලෙස නිලන්ති ගෙනා පණිවිඩය නම් සතුටුදායක නොවුණි. 

බසයේ දී ලැබෙන සියළු ඇලුම් බැලුම් බොරු කරමින් ඇය මිෂාගේ ආදර ඇරයුම ප්‍රතික්ෂේප කර තිබුණි. එසේ කාලය ගත වෙද්දි , ඇගේ ආදරය පතා ආ පිරිමි ළමුන් කිහිප දෙනෙකුම ඇගේ ප්‍රතික්ෂේපයට භාජනය වූ බැව් පමණක් මීෂාට ආරංචි වූයේ නිලන්තිගේ මාර්ගයෙනි.

මෙසේ කාලය ගෙවී යමින් තිබුනු අතර ඇය ගැන නැවත නැවත සිතීම පසෙක ලා ඔහු වඩාත් කැමැත්තෙන් පාසල් ශිෂ්‍යභට කණ්ඩායමේ වැඩ වලට දායක වනු මට පෙනේ. ඇය ඔහුට අකැමැති වීම මාගේ සිතට යම් තරමක සතුටුක් රැගෙන එයි. ස්ථානාධිපතිවරයාගේ දෙවෙණි දියණිය නමින් “අනූෂා “ ය. ඇය සැබැවින්ම පිරිමි සිත් සසල කරවන්නටම උපන්නියකි. ඇගේ වත තුල සැඟවී ඇති අනුරාගික බව, ඇගේ ලාලිත්‍ය , ඇගේ වචන, ඇගේ බැල්ම ට අසු නොවනා පිරිමියකු මේ මිහිපිට සිටින්නට බැරි බැව් මට සිතේ.ඇය එතම්ම හැඩය. මීෂා සහ අනුෂා එක තැන සිටවා තිබුව හොත් ඔවුන් දෙදෙනා මවා ඇත්තේ ඔවුන් දෙදෙනාටම බැව් ඔබටද සිතෙනවා නොඅනුමානය. 

නමුත් සීතල බේරෙන එක් උදෑසනක සිහින් මීදුම අතරින් මට පෙනෙන්නේ පාසල් පිට්ටනියේ කැඩෙට් කණ්ඩායම් පුහුණු කටයුතු වල යෙදෙන මීෂායි.මා ඔහු දෙස බලා සිටින අතර  මීදුම අතරින්ම මා දුටුවේ මීෂාගේ පන්තිය දෙසට දුවනා කෙල්ලෙකි. 

මීෂා පන්තියේ නොමැති බැව් දැන ගත්ත කෙල්ල ඇගේ අතේ තිබූ පොත පන්තියේ  සිටි කෙල්ලකට දුන්නී “ මතක ඇතිව මීෂාගේ අතටම දෙන්න “ යැයි පැවසූ බැවින් ඇය කවුදැයි මම විපරම් කිරීමට උත්සුක වූයෙමි.

නමුත් මාගේ බැල්මට හසුවන්නට කලින් ඇය පාසලේ ළමයින් අතර නොපෙනී ගියා ය. මීෂාගේ පන්තියේ කෙල්ලන් සිටියේ නම් සතුටිනි. බැලූ බැල්මට මීෂාගේ සතුටට හේතුවන දෙයක් සිදු වී ඇති බැව් හැඟේ.... 

මාගේ කුතුහලය මිශ්‍ර බැල්ම නැවත පාසල් පිට්ටනියට යොමු වූවත් මිෂා එහි නොමැති බැව් පෙනුනි. උදෑසන පළමු කාලච්ඡේදයට කලින් ඔහු පන්තියට පැමිණිය යුතු ව ඇත. මා විපරම් ඇස් කණ් සහිතව ඉවසීමෙන් පසුවුනෙමි.

උදෑසන හතයි හතලිස් පහට පමණ මීෂා පන්තියට ආවත් පන්තියේ කෙල්ලන් කොල්ලන් ඔහු වට කර ගත් බැවින් සිදු වන්නේ කුමක් දැයි බැලීමට ඔවුන් සියලු දෙනා ට ඉහලින් ගොස් බැලීමට මට සිදුවිය.

කෙල්ල ඔහු අතට පත් කිරීමට දුන් පොත ඇතුලෙහි ඇත්තේ සුන්දර ගැහැණු අකුරි වලින් යුක්ත වූ ලිපියකි. නමුත් ඒවා ඔබ මා දන්නා අකුරු හා වචන වලට වඩා හාත්පසින්ම වෙනස් හැඩයක් ගන්නා ඒවා විය.

“ කවුද බන් පොත දුන්නේ “
“ අනුෂා උදේ දීලා ගියේ , උඹේ අතටම දෙන්න කියලා “

“ ඒත් බන් කාටද මේක කියවන්න පුලුවන් “

“ ඒත් බන් ඒකි ලියුමක් දුන්නෙකම ලොකු දෙයක් නේ “ නිලන්ති කීවේ මීෂාගේ හැඟීම්බර මුහුණේ ලියැවී ඇති දේ කියෙව්වාක් මෙනි.

කාගෙත් බලාපොරොත්තු කඩ වූ මුහුණු අතර මීෂා ගේ මුහුණේ පෙනෙන්නට තිබුනේ තෘප්තිමත් සිනහවකි. පළමු කාලච්ඡේදය ආරම්භ කිරීමට සීනුව නාද වීමත් , ගුරුවරියගේ පැමිණීමත් සමඟින් තම තමන්ගේ ආසන වලට ගොස් අසුන් ගත්සියලු දෙනාට එය ඉතා සාමාන්‍ය දිනයක් වුවත් “ මීෂා“ ට නම් එය සතුට උතුරන විශේෂ දිනයක්ම විය.

ඒත් කොහොම ද මේ ලියුම කියවන්නේ ...................

හමුවෙමු ඇගේ ලියුමත් සමඟින් තවත් කොටසකින්....

Thursday, August 31, 2017

ආදර ප්‍රදී - 1. නොපියවුනු උඩ බොත්තම්

ආදර ප්‍රදී 
1. නොපියවුනු උඩ බොත්තම් 
Dear Pradee  
Unbuttoned Upper-button
----------------------------------------

මේ කතාව “මගේ කතාව “ නෙමෙයි. නමුත් මේ කතාව නිසා උපන් කතාව මගේ කතාවේ කොටසක් වෙමින් පවතින බව හැඟෙමින් පවතිනවා. මේ කතාව කොහෙන් කොහොම පටන් ගන්නද , පටන් ගත්ත ද කියලා මට මතක නෑ. මතක් කරන්න ඕනි ත් නෑ. මට ඕනි මේ කතාව කොහෙන් හරි පටන් අරන් ලියල , ඔහුට වෙච්චි “පොරොන්දුව“ ඉටු කරන්න . 

මේ කතාව කියන කෙනාව මට හමුවෙන්නේ “ෆේස් බුක්“ වලින් , ඒ වගේම ඔහුව මම ප්‍රථම වතාවට දකින්නේ කොළඹ දි. ඔහු ගැන විස්තර කරන්න මට වචන නෑ.ඒත් තියන වචන වලින් හරි ඔහුව විස්තර නොකර ඉන්නෙක ඔහුට කරන මදි කමක්.

ඔහු මට හමුවෙද්දි , ඔහුගේ කුඩා කාලය , යොවුන් කාලය වගේම සුන්දර තරුණවියත් ගෙවිල යමින් පැවතුනත් කඩවසම් යෞවනයෙක්ගෙ ශේෂයන් හොයා ගන්න අපහසු වුනේ නම් නෑ.

මධ්‍යම ප්‍රමාණයේ උස සිරුරක් , මැදිවියේ දී උරුම වන විදිහේ මහතක් , හීනියට කැරලි ගැසුනු කොණ්ඩයක් , සුදු පැහැති සමක් ඇති ඔහුගේ කණ්නාඩියෙන් යට වෙච්චි ඇස් වල තරුණකම දිලිසෙමින් තිබුනා.මදක් රතු පැහැති වෙච්චි යටි ඇහි පිහාටු,  නිරායාසයෙන් උපදින අවංක හිනාවෙදි විතරක් පේන නල දත ඔහුටම ආවේණික ,මට අමතක නොවන ඔහුගේ ලස්සන එක්ක මතකයේ රැදුනා.

ඔහු එදා ඇදගෙන හිටපු කමීසයේ පාට මොකක් ද කියල මට මතක නැති උනත් කමිසයේ නොපියවී තිබුනු උඩ බොත්තම් එදා නම් මගේ සිතේ ඇති කලේ නොපහන් හැඟීමක්.

ඔහුගේ ජීවිත කතාවේ මැදකදි හමුවුනත් , නොදැන සිටි ළමා කාලයත් , සොඳුරු යොවුනයත් , විටෙක දුක්බර විටෙක සුන්දර තරුණ වියේ බොහෝ තැනුත් මගෙ මතකයේ තැන තැන රැඳිල තියෙන්නේ කතා අඩු මගේත් කතා වැඩි ඔහුගෙත් රසවත් සංයෝජනය නිසාම වෙන්නැති.

කතා කියන ඔහුගෙ දිලිසෙන , තෙත් වෙන ,හිනා වෙන ඇස් දිහාත් , නල දත පේන්න පිපෙන හිනාව නිසාත් ඒ කතා වල තියන අව්‍යාජත්වය ගැන මට දෙවරක් හිතන්න ඕනි වුනේ නැති නිසා “නොපියවුනු උඩ බොත්තම් ගැන ඇති වුනු හැඟීමට “ සමාව දෙන්න මට පුළුවන් උනා විතරක් නෙමෙයි ලියන්න ගියපු ඔහුගේ කතාව යටපත් වෙලා ගිහින් අපි අතර අලුත් කතාවක් මතුවෙන්න ගත්තා. ඒත් විටින් විට “ මගේ කතාව ලියන්නැද්ද?“ කියල ඔහු මතක් කරන සෑම විටකම නූල් බෝලයක් වෙච්චි ඒ කතාව කොහෙන් කොහොම පටන් ගන්න ද කියල මට හිතා ගන්න බැරි උනා.

කෙනෙක් ගෙ ජීවිත කතාව පටන් ගන්නේ උප්පතියෙන් , අන්න ඒ නිසා එයාගේ උපත සිද්ධ වෙච්චි ඒ සුන්දර පළාතෙන් ම මම කතාව පටන් ගන්නම්. මට නම් ඒ පළාත නිවාඩුව ගත කරන්න සීත කබා ඇදන් යන ලස්සන ලොකු මල් පිපෙන සීත පළාතක් වුනත් එයාට නම් ඒ පළාතේ හැම ගහක කොළක ඇළ දොළකම ලියැවෙච්චි එයාගේම කතාවක් තිබ්බා. ඔහුටම හිමි “ නිහඬ සුන්දර සීතල හදවතක් “ ලැබෙන්න මේ පරිසරය කුමන්ත්‍රණය කරන්න ඇති කියලත් මට හිතුනා. ඒ වගේම ඒ පරිසරය ට ගොඩක්ම ආගන්තුක වෙච්චි , ඒ පරිසරයේ හැම රහසක්ම “ගුප්ත රහසක් “ වෙච්චි මට ඔහු ගැන ආපහු හිතද්දි , ඔහුගෙ කතාව කියද්දි වගේම මේ දැන් වගේ ලියද්දි , ඒ සීතල පළාතේ සීතල ගුප්ත දුමාරගතිය මගේ වටේ එතෙනව වගේ මට දැනෙනවා.............

මේ පුංචි විස්තරෙන් පස්සෙ හැම කොටසකම “ඔහුගේ කතාව “ ටිකින් ටික ලියැවෙනවා..........


ඊළඟ කතාවෙන් හමුවෙන කම් අදට සමුගන්න 

මම

෴සොඳුරු සිත෴

Monday, August 14, 2017

කුඩා ඔය කුඩා විය

වොට්සන්ගේ ළමා විය 1
කුඩා ඔය -  කුඩා විය

මා එවක හතේ පන්තියේ ඉගෙන ගන්නා කුඩා කොළු ගැටයෙකි. නගරයේ මධ්‍ය විද්‍යාලයකඉගෙනීමට අවස්ථාව ලැබූ කොළුවෙකු වූවත් මා වඩාත් ප්‍රිය කළේ මගේ පියා විදුහල්පති ධුරය දැරූ ඒ කුඩා ග්‍රාමීය පාසලට බැව් පැවසූව හොත් ඔබ අතුරින් යමෙක් පුදුම වූව ද, මෙම කතාව අවසානයේ දී මා එතරම් එම පාසලට ප්‍රිය වූයේ මන්දැයි ඔබට වැටහීමට වඩාත් ඉඩ ඇත.

කුඩා ඔය සිට කිලෝමීටර හයක පමණ දුරක දුශ්කර පා ගමනකින් පසුව හමුවන ඒ සුන්දර කුඩා පාසල ට මගේ ඇති බැදීම , මගේ පියා එම පාසලේ විදුහල්පති ධුරය දැරීම පමණක් ම නොවන්නේ ය.

කණිෂ්ඨ පාසලක් වූ එය , මා අයත් වූ පාසල තරම් පොහොසත් නොවූවත් සාර සොබාවට වැඩුනු ගහ කොළෙන් මලින් ද අපූරු ජීවීන්ගෙන්ද පිරී පැවතුණි.  විදුහල්පතිතුමාගේ අපූරු දඟකාර පුතා වූ මට එම පාසලේ කිසිවකුගෙන් කිසිම දෙයකට කිසිදු බාධාවක් නොවී ම ද නිදහසේ සැරීමට හැකි වීම ද ඒ පාසලට ආදරයෙන් බැදීමට හේතු වූ එක් කරුණක් පමණි.

මගේ පාසලේ වාර විභාග කාල වල දී මෙන්ම ඉඩක් ලද සෑම විටකදීම තාත්තා සමඟින් මෙහි පැමිණිමට මා ගන්නා උත්සාහය නැවතීමට කිසිදු විටක තාත්තා මැදිහත් නොවීමද මා කුඩා කොලුවෙකු වූවත් ඔහු මා කෙරෙහි දැක්වූ ස්වාධිනත්වය ද අද කාලයේ වැඩිහිටියන්ට ආදර්ශයට ගත යුතු අවස්ථා බැව් සටහන් කරමි.

එකල ලෝක බැංකු ආධාර යටතේ පාසල් සිසුන් අතර බෙදා දීම සඳහා ලැබුනු හතරැස් හැඩැති කුඩා බිස්කෝතු (අදිහැස)  අහුරක් මිටට ගුලි කර ගන්නා මම පාසලේ මා කැමතිම කෙනා සොයා පියඹන්නේ මගේ අහස්යාත්තරාවෙනි.

මා ඈතින් ගොඩ බාන අයුරු දකිනා ඔහු මගේ මිට මෙලවී ඇති අත දෙස බලා උගේ කුඩා වලිගය සොලවමින් හිසින් සන්කරන්නේ මගේ අරමුණ සක්සුදක් සේ වටහා ගෙන එයට එකඟත්වය පළ කිරීමට මෙනි.

උගේ පිට පිරිමදිමින් මා මිටි වූ අත උගේ මුව වෙත දිගු කරත්ම උගේ වලිගය සෙලවීම නතර වන්නේ මා අතරැදි හතරැස් බිස්කෝතු වල රස,  රස විදීමට වලිගයේ සෙලවීම පවා බාධාවක් නිසා වන්නට ඇත.

පාසලේ සිටිනා මා සිත්ගත් මේ අපූරු ජීවියා මධ්‍යම ප්‍රමාණයේ හොඳින් වැඩුනු හරකෙකු තරමට වැඩුනු එළුවෙකි. බිස්කෝතු අනුභවයෙන් කුල්මත්වන එළුවා එළු රැවුල් නිකට දෙතුන් වරක් සොලවා බෑ........හ්............හ් බෑ....... හ්.............හ්............. බෑ..............කියන්නේ  , බෑ කීමට බැරි කමකට නම් නොවන අතර මා සිතේ අරමුණ සාක්ෂාත්කර ගැනීමට ඌ සූදානම් බැව් ඇගවීමටය.

ඉන් පසු අසල ඇති අඩි දෙකක් දෙකාමාරක් පමණ උස හුඹස වෙතට එළුවා ළං කරගන්නේ එකවර එළුවා මත නැගීමට තරම් උසක් මා වෙත නොමැති බැවිනි. හුඹසේ පැතලි වී මැදී ඇති ඉහළ කොටස , මා ගේ මේ එළු එළවිල්ලට කොතරරම් සහයක් දක්වා ඇද්දැයි  කියා පාන කදිම සාක්ෂියකි.

හුඹහට පය තබා එළුවාගේ පිටට නඟින තෙක්ම කිසිදු හැල හොල්මනක් නොමැතිව සිටීමට තරම් එළුවා සහ මා අතර  වූ ලෙංගතුකම වැඩී තිබුණි.

එළුවාගේ පිටට නැගී , පස්ස මදක් ඔසවා , තට්ටම් වල යට කොටසින් අඩක් පමණක් එළුවාගේ පිට මත තබා කොන්ද තරමක් ඇල කර එළුවාගේ බෙල්ලට සමාන්තරව දික් වී උගේ  අ: කොට දෙකෙන් අල්ලා ගත් විට ගමනට සියල්ල සූදානම් බව දෙදෙනාටම සක් සුදක් සේ පැහැදිලිය.

ඉන් පසු ඌත් මාත් එක් අයකු බවට පත් වන අතර පාසල් වත්තේ රවුමක් දුවන එළුවා , හුඹස තිබූ ගස යටට පැමිණ නතර වූ පසු නම් කොතරම් ලෙංගතු වූවත් නැවත රවුමක් යාමට උනන්දුවක් නැති සේ නොසෙල්වී සිටින්නේ අර කුඩා හතරැස් බිස්කට්  අහුරක්ලැබෙන තෙක් ය.


මා වයසින් වැඩෙත්ම කුඩා ඔය කුඩා පාසලත් , එළුවාත් මනසින් තුරන් වී ගොස් මනසේ එම ස්ථාන වෙනත් අයවලුන් විසින් අයත් කර ගත්ත ද පරිණත පිරිමියෙකු විලසින් ලෑන්ඩ් රෝවරයේ නැගී කුඩා ඔය පසු කරනා සෑම අවස්ථාවක දී ම ඒ එළුවාගේ මිහිරි  මතකය කුඩා ඔය වියළි සුළඟට මුසු වී පරිණත මගේ හදවත අදත් තෙත් කරන්නට සමත් ය.

Thursday, August 10, 2017

ඒ මිහිරි සීනු නාදය සහ ටැකෝ බෙල්

ඒ මිහිරි සීනු නාදය සහ ටැකෝ බෙල්
-------------------------------------------------------

පුංචි කාලයේ ඉදන් දන්නා සීනු නාද කිහිපයකි. ඉන් පාන්දර ඇස් ඇරීමට තියනා සීනු නාදය පස්ස පැත්තට ඇන ඇන මර හඬ තලයි. 

ඉන් පසු හමුවන සීනුව නාද කල යුත්තේ මාය . උඩ පැන නූල අල්ලා ඇද අතහැර නාද කරන ඒ සීනුව ට අනුව බසයෙන් බැස යන මට විනාඩි හතලිහෙන් හතලිහට ඇසෙන සීනු නාද වලින් වඩාත්ම ප්‍රිිය උපදවන සීනු නාද ය වූයේ දහයයි විස්සට පමණ එක දිගට හඩ තලන දිගු සීනු නාදයයි. 

සීනුවක් කීවාට එය තඩි ලොරි රෝදයක ඉවත දැමූ මලකඩ කමින් පැවතුනු රිම්එකකි. පාසලේ උසම ගොඩනැගිල්ලේ  විවෘත ඉඩකඩක උසින් එල්ලා ඇති එයට යකඩ කූරකින් තඩි බෑමෙන් එන ඒ සද්දය විසින් අප සැම පාලනය කරමින් තිබුනි.විවේකයට පසුව එන දිගු සීනු නාදයෙන් පසුව නැවත දිගු සීනුවක් නාද වන්නේ පාසල් නිමාවන ඒ සතුටු සමයටයි. ඒ තඩි මලකඩ රිම්මෙකට නිවාඩු ලැබුනේ අප පාසලෙන් සමුගන්නට කිට්ටුව දී වන අතර ඉන් පසු සීනු නාදය වෙනුවට මිහිරි සංගීත කණ්ඩයක් වාදනය වන පුංචි ස්පීකරය බැගින් පන්තිකාමර වලට ලැබුනි.

පාසල් සංදියේ බසයේ සීනුව නාද කිරීමට වෙනකෙකුගේ සහය පැතීමට සිදු වූවද ක්‍රමයෙන් උස් මහත් වෙද්දි,  ලැබුනු ජාන වලට පිංසිදු වන්නට අන් අයට බස් සීනු නාද කිරීමේ සහයිකාව දක්වා උසස් වීමට හැකි විය.

මා පාසල් ගිය පාසල් වල තිබූ රිම් සීනුවට වඩා වඩාත් වෙනස් , ඇත්තටම සීනුවක් වූ සීනුව දකින්නට ලැබුනේ මා රැකියාව සඳහා පාසල් යාමට පටන් ගත් පාසලේ දීය.

සැබැවින්ම තඩි සීනුවක් වූ එය පන්සලේ ඝන්ඨාරයට වඩා මදක් තරමින් කුඩා විය.සීනුව මැද්දෙන් එල්ලෙන බට්ටාට තරමක් අතට අහුවෙන ලෙස සවිකර ඇති දිගු දම්වැලෙන් අදිමින් සීනුවේ පෘශ්ඨයේ තාලයට වද්දමින් හඬ නැගීම ඒ සඳහා පත්කර ඇති සිසුවා විසින් සිදු කරන්නේ ඉතා ගරු ගාම්භීරවය. ඔහුගෙන් ඒ දම්වැල උදුරා ගෙන සීනුව නාද කිරීමට මා සිතපතුලෙන් උපන් ආශාව මැඩ ගන්නා ලද්දේද ඉතා අසීරුවෙන් වූවත් , එවැනිම සිතක් තිබූ දරුවෙකු විසින් සීනුව අවේලාවේ නාද කිරීම නිසා ඒ දරුවාට සිදුවූයේ දැඩි දඩුවම් විදීමට බැව් නොකියාම බැරිය.

මා පාසල් යන කාලයේ දී අකැමැති ගුරුවර ගුරුවරියන්ගේ කාලච්ඡේද නිමාවන සීනුව නාද වන තෙක් නොයිවසිල්ලෙන් සිටියාක් මෙන් දැන් මා උගන්වන දරුවන් මා පන්තියෙන් ඉවතට යන තෙක් ඒ මිහිරි සීනු නාදය වාදනය වන තෙක් සිටිනවා වන්නට පුළුවන් බැව් හැඟෙන විට සිතට දැනෙන්නේ කණගාටුවකි.

නමුත් පාසල් දැරිය කාලයේ දී වාගේම මා තවමත් ඉතාම ප්‍රිය කරන සීනු නාද දෙක වන්නේ දහයයි විස්සට එක දිගෙට ටලාන් ටලාන් ටලාන් ටලාන් ටා..........න් සීනු නාදයත් හරියටම එකයි විසිපහට නාද වන එවැනිම වූ දිගු සීනු නාදයත් වීම නම් නොවෙනස්ව පවතින සත්‍යයකි.

පන්සලේ ඝාන්ඨාරය පාසල් සීනුවට වඩා ප්‍රමාණයෙන් විශාල වූව ද එය නාද කිරීමට අවස්ථාව ලැබෙන්නේ පෝය දිනයට පමණි. අනිකුත් සෑම දිනයකදීම ඝන්ඨාරයේ දිගු යකඩ දම්වැල ඔසවා ගැට ගසා ඇත්තේ කිසිම කෙනෙකුට ළං විය නොහැකි ලෙසටයි. නමුත් දිනක් මහ රාත්තිරියේ එක දිගට නාද වූ ඝණ්ඨාරයේ නාදය මඟින් මුළු ගමටම දැන්වූ පණිවුඩය වූයේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගේ අපවත්වීමයි. 

මේ සියළු ලොකු කුඩා විශාල ප්‍රමාණයේ සීනු පිළිබඳව මෙසේ සටහන් කිරීමට හේතුව වූයේද අපූරු ආකාරයේ සීනුවකි. නමුත් මාහට මෙන්ම ශ්‍රී ලංකාවටද එම සීනුව අලුත් බවත් පෝලිමේ ගොස් බැලිය යුතු වූවක් බවත් පමණක් දැනෙන අතර එය ටැකෝ බෙල් නමින් හඳුන්වන බවත් පමණක් දනිමි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...